Tuesday, December 21, 2010

මගේ නත්තල් තෑග්ග


ගොඩක් වියදම් කරල දෙන්න පුළුවන් දේවල් වගේම, දෙන්න බැරි දේවළුත් තියෙන නිසා , නත්තල් ගීතිකා ටිකක් බෙදාගන්න මම හිතුව. කැමති ගීතිකා තියෙනවනම් මෙතන ලියන්න.

රෑ තරු බබලනවා
රෑ තරු බබලනවා මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා මල් වැහැලා වාගේ

රැව් පිළි රැව් දෙනවා ගීත නාද වාගේ
බිළිදෙකු හිනැහෙනවා මුහුදක රැලි වාගේ

සීත සුළං එනවා උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා පැණි බමරුන් වාගේ

රැව් පිළි රැව් දෙනවා ගීත නාද වාගේ
බිළිදෙකු හිනැහෙනවා මුහුදක රැලි වාගේ


බිළිදෙකු හිනැහෙනවා පොපියන කුසුම් වගේ
තුරුලක පෙරලෙනවා හිම මත හිම වාගේ

රැව් පිළි රැව් දෙනවා ගීත නාද වාගේ
බිළිදෙකු හිනැහෙනවා මුහුදක රැලි වාගේ

Tuesday, November 30, 2010

පෑන සහ ලිවීම


පෑන කියන දේ, ඉගෙනගන්න සහ ඔෆිස් වල ලියන කියන රාජකාරි කරන අයට සෑහෙන වැදගත් දෙයක්. කොච්චර වැදගත්ද කිව්වොත් ඒ ලෙවල් කරන කාලෙ පෑන් සෙට් එක මගේ අතේමයි. ලියන්න තියෙන ආසාවට නෙමෙයි පරිස්සම් කරගන්න බැරි නිසා. ඒ කිව්වෙ, පන්තියෙ එවුන් ගයි කියන බයට නෙමෙයි, ඕක කොහෙ හරි දැම්මට පස්සෙ අමතක වෙයි කියන චකිතයට.

ඒ ලෙවල් කාලෙ ඔය විදිහට  පරිස්සම් කරලත් සතියකට පෑනක් දෙකක් අඵතෙන් ගන්න සිද්ද වෙන එක ෂුවර්, මොකද කොච්චර කරත් හැම වෙලේම පෑන් ගැනම හිතන්නත් බෑනෙ. කොහොම හරි ඒ ලෙවල්  කාලෙ පෑන් ෂේප් කරගත්තට ඔෆිස්  ජීවිතේට බැස්සට පස්සෙ පෑනක් ගැන ඇහෙන එකත් වදයක් උනා.

හැම එකම කී බෝඩ් එකේ කොටල පුරුදු උනාට පස්සෙ අතෙන් ලියනවට වඩා කී බෝඩ් එක ලේසියි කියල හිතෙන්න ගත්ත (ඇත්තම කාරනේ මම ලියන්න කම්මැලි වීම). ඊලග දේ තමයි වෙනදට වඩා අඩුවෙන් ලියන නිසා පෑනක් අවසන් වරට භාවිතා කරන ලද දිනය සහ එය වැඩි පරිස්සමට ස්ථානගත කල තැන මෙමරි එකෙන් මැකී යාම.

පෑන ඇතුඵව මගෙ ඔෆිස් එකේ දේවල් සහ ඇදුම් පවා ගූගල් එකෙන් හොයන්න පුඵවන් උනා නම් මගේ ජීවිතේ මීට වඩා පිලිවෙල කරගන්න පුඵවන් නේද කියල මට දවසක් හිතුන. ඉතින් කොහොම හරි   ඔෆිස් එකේ පෑන් වැඩේ හරි නොගිය තැන මම මේකට විසදුමක් හොයන්න තීරණය කරා.

පළවෙනි ස්ටෙප් එක විදිහට පෑන් දාන්න භාජනයක් (පෙන් හෝල්ඩර් එකක්) ගත්ත. මම හරි තැන පෑන තිබ්බට ඔතනින් පෑන් ගන්න අනිත් එවුන් එහෙම නොකරන බව නිරීක්ෂණය කරල නිගමනය කරන්න පෑන් තුන හතරක් නැති උනාට පස්සෙ ,මට පුඵවන් උනා.

පෑන ගලවල ඒක ඇතුලට නම ලියපු කොලයක් දාල ලේබල් කිරීම මගින් මට හොයා ගන්න පුඵවන් උනා රෑට පෑන් ඇවිදින්න යන බව, තවත් සමහර පෑන් මට අකමැතියි කියන එකත් මට අකමැත්තෙන් හරි පිළිගන්න උනේ ඒව මට දකින්න ලැබුනෙ එක සැරයක්ම විතරක් නිසා.

අන්තිමට මම පෑන් පාවිච්චිය කෙසේ වෙතත් පෑන් ගැන වද වෙන එක නතර කරා. මට ඕන වෙලාවට කොහෙන් හරි පෑනක් ඉල්ලගෙන ඒක කොහෙන් හරි තියන එක මම කරපු හැම දේටම වඩා ලේසියි කියල මට තේරුන. එක්කෙනෙක්ගෙන් ඊයෙ ඉල්ල ගත්ත පෑන අද දෙන්න හොයනකොට තව පෑන්  හතර පහක් එහෙන් මෙහෙන් ඉබේම හම්බ වෙන එක දැන් බොහොම සාමාන්‍ය කාරණයක්......

මගේ පෑන් ප්‍රශ්නෙ විසදුනෙ ඔන්න ඔහොමයි....

Friday, November 26, 2010

අපේ බස් ගැන මට හිතෙන දේ.......



අදත් හෝ ගාල වැස්ස, කුඩේ අරන් ගිය නිසා යාන්තම් වැස්සෙන් බේරිල බස් හෝල්ට් එකට ඇවිත් 187කට ගොඩ උනා. සීට් එකකුත් තිබ්බ නිසා මම ජනේලයක් අයිනට සෙට් වෙලා වැස්ස දිහා බලාගෙන, වැස්ස ගැනම කල්පනා කරන්න ගත්ත. ඔය අතරෙ කොන්ද අයිය ඇවිත් මගෙ කල්පනා ලෝකයට ඩිස්ට(ර්)බ් කරල ගාස්තුව ඉල්ල ගත්ත, ඉතින් ආයෙත් මම පාර දිහා බලාගෙන කල්පනා කරන්න සෙට් උනා විතරයි මෙන්න වාඩ් වෙලා හිටපු මගී ඩයල් එකක් කෑ ගහනව "මේ බස් එක කටුනායක ඉදන් පෑලියගොඩට එන්න, නුවර ඉදන් කොළඹ එන වෙලාව ගත්ත" කියල.

ඒ කතාවෙ සත්‍ය අසත්‍ය තාව කෙසේ වෙතත් සුපුරුදු විදියටම සෙසු මගියො ටික ලොවෙත් නැති ගානට ඇහුන්නෑ වගෙ කරබාගෙන හිටිය.  මට ඉක්මනට ගිහින් අල්ල ගන්න අලි නැට්ටක් නැති උනාට අර මගී ඩයල් එක ගැන දුක හිතුන.

බස් වල වෙන දේවල් වල හැට්යට බස් හෙමින් යාම බොහොම සුලභ රෝගයක්. ඒ  ගැන හොයල බලන්න මොකක්ද සංගමයක් තිබුනට ඒ ගොල්ලො වැඩක් කරනවද නැද්ද කියන එක මම නම් දන්නෙ නෑ. හෙමින් යාම ගැන කොන්ද මල්ලිගෙන් අහපු මගියෙකුට දවසක් කොන්ද මල්ලි "එහෙම යන්න ඕන නම් තමන්ගෙ වාහනයක් ගන්න" කියල ආදරෙන් කිව්ව එක මට මතක් උනා, ඒ වෙලාවෙ නම් මගියො සෙට් එකටම අසූ හාරදාහට තද උනත් කොන්ද මල්ලි කියපු දේ සෑහෙන ඇත්ත බව පස්සෙ මට තේරුන.

බස් සේවාව පාලනය භාර කස්ටිය නම් සෑහෙන කාලෙකින් බස්වල ගිහින් නැති බව පැහැදිලියි. රුපියල් නමයෙ ටිකට් එකේ ඉතුරු සල්ලි දෙන්න අමතක වෙන සමහර කොන්දොස්තර මහත්තුරු සහ හයේ ටිකටි එකට මාරු ඉල්ලන කොන්දොස්තර මහත්තුරු එක්ක නහුතෙටම තද උනාට ඔය ටිකට් වල ගනන් මාරු කරන්න පුඵවන් උනා නම් කියලත් මට හිතුන. හයේ ටිකට් එක පහ කරල නමයෙ ටිකට් එක දහය කරන එක  සෑහෙන ලොකු වැඩක් වෙන්න ඇති. (බස්වල ඉතුරු සල්ලි ගන්න ගියාම සමහර කොන්දල දාන ලුක් එකයි සල්ලි දෙන විදිහයි දැක්කම මාර ආදරයක් ඇතිවෙන නිසා මම ඒක අතෑරිය)

ලංකාවෙ ප්‍රයිවට් බස් වල සෑහෙන දියුණු තාක්ෂණයක් භාවිතා වෙනව කියන එකත් මම හොයාගත්ත, වෙන බස් එකක් පේන තෙක් මානෙක නැත්නම් (විශේෂයෙන්ම ලංගම බස් එකක් පේන තෙක් මානෙක නැත්නම්) ප්‍රයිවට් බස් ඉබේම ස්ලෝ වෙනව, ඩ්‍රයිවර් අයිය මොනා කරත් ඒක යන්නෙ හිමින්, හැබැයි පිටිපස්සෙන් බස් එකක්  එනව දැක්ක ගමන් ඩ්‍රයිවර් අයියටත් කන්ට්‍රෝල් කරන්න බැරි විදිහට බස් එක යන්න පටන් ගන්නව, ලේන් කපාගෙන ඕවර් ටේක් කරන ගමන් හෝල්ට් පාස් කරන් ගිහින් නවතින බස් එක පාලනේ කරන්න ඩ්‍රයිවර් අයිය මොනා කරත් වැඩක් වෙන්නෙ නෑ. (මේ ගැන අපේ මගියො කරනව වගේ මාත් ඉස්සර කෑ ගැහුවට මේ ඔටෝමැටික් සිස්ටම් එක ගැන දැනගත්ත දවසෙ ඉදන් මම ඒකත් නතර කර ගත්ත).

ප්‍රයිවට් බස්වල කොන්දොස්තර පෝස්ට් එකට ගන්නෙ මැනේජ්මන්ට් ඩිග්රි එකක් තියෙන මහත්තුරු කියන එකත් ප්‍රසිද්ධ රහසක්. නාසා එකෙන් දන්නව නම් රොකට් එකක වැඩි බඩු තොගයක් අහුරන්න අපේ  කොන්ද මල්ලියෙක්ව කිඩ්නැප් කරන එක ෂුවර්.

කෙනෙක් නැති තැන වැරදි කියන එක හොද නැති නිසාත් බස්වල සේවක මහත්තුරුන්ට බැන්නට  මගියොත් බස්වල පිස්සු නටන නිසාත්  මේව පාලනය කරන්න නීති තිබ්බට  නීතිය පොතට විතරක් කියල හිතෙන නිසාත්  මේව හොයල බලන්න ඉන්න කට්ටිය  බස්වල නොයන නිසාත්  මම ආයෙත් වැස්ස දිහා බලාගෙන කල්පනා කරන්න ගත්ත.

Thursday, November 25, 2010

පොල් දැක්කම හිතුන දේ (ළමා මතක)

මේ ගැන මට හිතුනෙ අද පොල් ගහක් දැක්ක වෙලාවෙ. මීට ටිකක් ඉස්සර අපි ඉගෙන ගන්න කාලෙ හිටියෙ හොස්ටල් එකේ. හොස්ටල් එකක ඉදල නැති කෙනෙකුට ඒක පැහැදිලි කරනව නම් ලේසිම ක්‍රමේ තමයි බලෙන් උස්සන් ගිහින් හමුදාවට දාපු එකෙක් හිතෙන් මවා ගන්න එක.  කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව  ගිහින් හොස්ටල් එකට දාල අම්මල යන්න ගියාම අපේ සෙට් එකේ ගොඩක් අයගෙ (මගෙත් ඇතුඵව) මුල් දවස් කීපය ගෙවුනෙ ඇඩූ කදුලින්.  (ඒත් ඒ මතකයන් දැන් ගොඩක් සුන්දරයි වගේම  හොස්ටල් ජීවිතයෙන් අපි ලබපු අත්දැකීම් අපේ ජීවිත ගොඩනගාගන්න සෑහෙන උදව් උනා).
මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්.........
දවස් පහක් ඉස්කොලෙ ගිහින්  ඉවර වෙලා එන සෙනසුරාද ඉරිද දවස් වලට මුඵ ඉස්කෝල වත්තම පාඵයි. එදාට අපේ සෙට් එක කරන එක වැඩක් තමයි දඩයමේ යාම.  ඒ කිව්වෙ සත්තු මරන්න නෙමෙයි, වත්තෙ තියෙන අඹ වරකා පොල් ජමිබෝල වගේ ඵලවැල නෙලීම.  (ඉස්කෝල වත්ත සෑහෙන ලොකු නිසා සමහර පැති වල කැලෙත් තිබ්බ)

ඉරිද උදේ දහයට පාඩම් වැඩ ඉවර කරන බෙල් එක ගැහුවට පස්සෙ අපි පස් දෙනෙක් විතර  නිකන් ඉන්න බැරි කමට පොල් කඩන්න යන්න සෙට් උනා.   වැඩිය කට්ටිය නැති තැනක තිබ්බ පොල් ගහක් හොයා ගන්න අපෙ සෙට් එකට වැඩි වෙලාවක් ගියෙ නෑ. පොල් ගහ තියෙන තැනට ටිකක් ඈතින්  ක්‍රිකට් ප්‍රැක්ටිස්, කරන එකත් අපිට පේනව. ඔන්න අපේ අසංගයා පොල් ගහට ගොඩ උනා කියමුකො, අපි සෙට් එක පල්ලෙහා ඉදන් බරටම වැඩ.
ප්‍රධාන වැඩේ තමයි ඔත්තු බැලීම, පැති තුනක් කවර් වෙන්න ඔත්තු බලද්දි තව කෙනෙක් ගහ ලග සම්බන්ධීකරන කටයුතු. මෙහෙම වැඩි වෙලාවක් යන්න ලැබුනෙ නෑ, පලවෙනි පොල් ගෙඩිය බිම දාන්නත් කලින් අපේ පාලක පියතුමා (හොස්ටල් එක පාලනය කලේ කතෝලික පියතුමන්ල) එනව කියන ඔත්තුව ලැබුන, මල කෙළියයි,  සුදුසු ප්‍රති පියවරක් ගන්න කාලය මදි නිසා පල්ලෙහා හිටපු අපෙ සෙට් එක  ලොවෙත් නැති ගානට සෙටි වෙලා බොහොම උනන්දුවෙන් ක්‍රිකට් ප්‍රැක්ටිස් බලන්න ගත්ත. ගහ උඩ හිටපු අසංගයව අපි දැනුවත් කරල  වැඩිදුර උපදෙස්  දෙනකම් එතනම ඉන්න කිව්ව.

දැන්  ඔක්කොම හරියි කියල හිතාගෙන අපි ඉන්නව, හරියට ලොවි ගහෙත් නෑ වගෙ. පියතුමා ඇවිත් එතන නතර වෙලා අපිට එන්න කිව්ව, අපිත් ගියයි කියමුකො, ඊළග ප්‍රශ්නෙ (මොකද මෙතන කරන්නෙ) යොමුඋනා, අපේ එකෙක් ගත් කටටම කිව්ව ක්‍රිකට් ප්‍රැක්ටිස් බලන්න ආව කියල. ඒ කියල කට ගන්න උනෙ නෑ පියතුමා උගෙ කන අල්ල ගත්ත (ආදරේට), "පොල් කඩන්න නේද ආවෙ" කියල අහන ගමන් පියතුමා අපෙ සෙට් එකේම කන් රතු  කරල තරු පෙන්නුව. අපි වද වේදනා  වින්දට ගහ උඩ හිටපු අසංගයව පාවල දුන්නෙ නෑ, අපිට දඩුවම් කරපු  පියතුමා යන්න හැරුනම තමයි කස්ටිය ටිකක් හිත සැහැල්ලු නර ගත්තෙ,  මොන යෑමක්ද , යන්න ගිය පියතුමා ආයෙත් හැරිල  පොල් ගහ දිහා බලල "Asanga you thought I didn't see you, come down, come down" කිව්වෙ නැතැයි.

මෙච්චර වෙලා ලොවෙත් නැති ගානට නැති ගානට පොල් අත්තක් උඩ සෙට්ල් වෙලා හිටපු  අසංගයගෙ කවර් එක බ්ලෝ උනා කියල අපිට මීටර් උනේ එතකොටයි. මොනා කරන්නද, අන්තිමේදි අසංගය ගහෙන් බ්මට ඇවිත් පනිෂ්මන්ට් එක කෑව.

Saturday, November 20, 2010

පූසො ගැන මට හිතෙන දේ.....

පූසො කියන්නෙ මහ අමුතුම සත්තු ජාතියක්, ගිය ආත්මෙ මනුස්සයො වෙලා ඉදල  වැඩිපුර නිදාගෙන චාටර්  උන එවුන්  මේ  ආත්මෙ පූසො වෙනවද මන්ද? (එහෙම සිස්ටම් එකක් තිබුනනම්). මම එහෙම කිව්වෙ පූසො හරියටම මිනිස්සු වගේ හින්ද, උන්ට බැරි කතා කරන්න විතරයි.

අපේ ගෙදර දැන් ඉන්නෙ හතරවෙනි පරම්පරාවෙ පූසො. ඒක උනේ මෙහෙමයි, ගෙදර පූසෙක් නැති කාලෙ කොහෙද හිටපු මීයො සෙට් එකක් රෑට රෑට අපේ ගෙදර විසිට් කරන්න පටන් ගත්ත. මී කතුරු වලින් ඩිෆෙන්ස් කරන්න බැරි සයිස් එකට මීයො ඔෆෙන්ස් කරන්න ගත්තම ගෙදර අය පූසෙක් ගේන්න ඒකමතිකව තීරණය කරා.  දැන් ඔන්න හැම කෙනාටම  මේ ගැන කිව්වට පස්සෙ අපෙ අයිය එහේ හිටිය පූසව අපට  පරිත්‍යාග කරා.

උගෙ නම (මිනිස්සු දාපු නම) කිටී. ලස්සන සුදු බළල් තඩියෙක් වෙච්ච කිටී දවස් කීපයක් තුල සෑහෙන්න මෙහෙයුම් ගොඩක් කරල මී තර්ජනයට තිත තිබ්බ. (හැබැයි හිටපු ගමන් මොරාල් එක වැඩි වෙච්ච මීයෙක් දෙන්නෙක් ගෙදර විසිට් කරන්න ආව) මේ අති සාර්ථක මී ඔපරේෂන් එකේ අතුරු ප්‍රතිලයක් විදිහට කිටිය ගෙදර කාගෙත් ආදරේ දිනාගත්ත. ඊට පස්සෙ කිටියට වැඩක් තිබිබෙම නෑ.

දෙන දෙයක් කාල පුටුවක් උඩට වෙලා දවසම නිදාගන්න එක හරි ගෙයක් දොරක් නැති ගානට  දවසම රස්තියාදු ගහන එක  හරි තමයි  උගෙ ජොබි එක උනෙ. ඔහොම ටික දවසක් ගත උනා කියමුකො, මෙන්න ටික දවසකින් පූසියෙක් අපේ ගෙවල් පැත්තෙ කැරකෙනව. අපේ එකා ඒ ටිකට කෙල්ලෙකුට ඇහැ දාල.

ගෙවල් වලින් කැමැත්ත ගන්න දෙයක් නැති නිසාත්, අපේ එකාටත් කිසි අඩුවක් නැති නිසාත් ටික දවසක් යද්දි දෙන්න අපේ ගෙදර පදිංචියට ආව. එයාලගෙ පැටව් තමයි  බ්‍රවුනි , බූන්දි  මේ දෙන්නට  පස්සෙ තව කෙනෙක්  (එයාලගෙ මල්ලි ) කිට්ටා. බූන්දිගෙ පැටව් ගොඩෙන් ඉතුරු උන එකෙක් (ඌට නමක් නැහැ) තමයි දැන් අපේ ගෙදර ඉන්න පොඩිම පැටව් දෙන්නගෙ අම්ම.

එකෙක් බැට්මෑන් අනික හොර පූසියක්. දැන් ගොඩක් ලියපු නිසා පූස් කතාව අදට ඉවරයි.

කුඩය සහ වැස්ස


මේ දවස් වල කොළඹට හෝ ගාල වහින නිසා හැම දෙනාම එලියට බහින්නෙ අතේ කුඩේකුත් එක්ක. හැබැයි මටනම් කුඩෙයි වැස්සයි කියන්නෙ විරුද්ධ පද දෙකක්. ටයිම් ටේබල්  එකක් නැතුව වහින  වැස්සයි හරියටම එදාටම අමතක වෙන කුඩෙයි මතක් වෙනකොට අසූහාරදාහට තද වෙනව. වැස්ස දවසකම තෙමි තෙමි ගිහින් කිරිබත්ගොඩින් ගත්ත ලොකු කළු කුඩේ අරගෙන යනදාට වහින්නෙ එහෙමත් වෙලාවකට තමයි. හැබැයි ඕක ගෙනියන්න අමතක උනදාට  වහින එක නම්  ෂුවර්. අහසයි කුඩෙයි එක්ක තරහ වෙන එකේ කිසිම ගතියක් නැති හින්ද මම  අමාරුවෙන් හරි හැමදාම  කුඩේ අරන් යන්න එන්න පුරුදු වෙන්න හිතාගත්ත.

මං අකැමති දේ ....

සතියෙ දවස් හතෙන් පහකම උදේ හයට නැගිටින්න සිද්ද වෙන එකට මම කැමතිම නෑ. වත්ත සුද්ද කරන්න වගේම මල් පැළ වලට වතුර දාන්න සිද්ද වෙන එකත් පණ යන වැඩක්. පොතක් කියවගෙන යද්දි ඒකෙ වීර චරිතයට නරක දෙයක් වෙන එකට මම කොච්චර අකමැතිද?

සමහර දාට සල්ලි දීලත්, මෙලෝ රහක් නැති කෑම කන්න වෙන එකටත් මම අකමැතියි. අනුන්ගෙ ඕප දූප කියව කියව,  තමන්ගෙ පුරාඡේරුව කියවන මිනිස්සු මට පේන්න බැහැ. ඒ විතරක්ද, කේලම් කියන, අනුන්ට හිරිහැර වෙන විදිහට හැසිරෙන මෝඩයොන්ටත්  මම කැමති නෑ.  ලස්සනට තියෙන කළු කොන්ඩෙ අයන් කරල පාට කරල ඕනවටත් වඩා ලිප්ස්ටික් කියුටෙක්ස් ගාගෙන අමාරුවෙන් අඩි ගනන් උඩින් යන උද්දච්ච  ගෑනු ළමයින්ට නම් මම කොහොමටවත් කැමති නෑ.  

මගෙ පාඩුවෙ වැඩක් කරද්දි එතනට ඇවිත් කියවන අයටත් මම කැමති නෑ. අනෙ අම්මෝ මේ ලිස්ට් එකේ දිග කියල හිතන අයටත් මම කැමති නෑ.